අවශ්‍ය තොග තිබිය දීත්
වැඩි මිලට ප්‍රතිජීවක ඖෂධ තොගයක්
මිලදී ගැනීමට සූදානම්..!
සාමාන්‍ය මිල සහ හදිසි මිල අතර වෙනස
රුපියල් 568,917,000.00 කි.
Meropenem නමැති ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ප්‍රමාණවත් තොග පවතිද්දීත්, හදිසි මිලදී ගැනීම් යටතේ, ලියාපදිංචි නොකළ ඉන්දියානු සමාගමකින්, තවත් විශාල එන්නත් තොගයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව, අද වෙළදපොලට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙසේ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සූදානම් වන එන්නත් කුප්පි ප්‍රමාණය ලක්ෂ නමයකි. ඇණැවුමේ වටිනාකම රුපියල් බිලියන 1.7 කි.
අදාල එන්නත් තොගය මිලදී ගැනීමට යන්නේ, Gufic Biosciences (Pvt) Ltd නම් එක් තනි ඉන්දියානු සමාගමකිනි. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ, Slim Pharmaceuticals (Pvt) Ltd නම් සමාගමයි.
අදාල ප්‍රතිජීවක ඖෂධයෙන් එක් කුප්පියක් සදහා වූ සම්මත මිල රුපියල් 1262.87 කි.
නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්දියානු සමාගමෙන් එම ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීමට සූදානම් වන්නේ එක් කුප්පියක් සදහා රුපියල් 1895.50 ක මිලකට ය.
ඒ අනුව, සම්මත මිල සහ මෙවර මිලදී ගැනීමට සූදානම්වන මිල අතර වෙනස එක් කුප්පියකට රුපියල් 632.13 කි.
එක් එන්නත් කුප්පියක් සදහා රුපියල් 632.13 ක වැඩි මිලක් ගෙවා එන්නත් කුප්පි ලක්ෂ නමයක් මිලදී ගැනීමට යාමෙන් අවභාවිතා වන මුදල රුපියල් 568,917,000.00 කි.
ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා මේ පිළිබදව වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ.
හදිසි මිලදී ගැනීම් යටතේ මෙසේ ගෙන්වීමට සූදානම් වන නම් මෙම ප්‍රතිජීවක ඔෂධය ලබා දෙනු ලබන්නේ, වෙනත් ප්‍රතිජීවක ඖෂධ සදහා ප්‍රතිචාර නොදක්වන අසාධ්‍ය රෝගීන්ට බවත්, එබැවින් මෙම ඖෂධය ඇණවුම් කිරීමේ දී එහි නිෂ්පාදකයා පිළිබදව වැඩියෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව පැවසේ.