‘ආර්ථික න්‍යාය පත්‍රය සහ
දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය
එකට යා යුතුයි.’
සමන්තා පවර් ජනපතිට කියයි.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූවාය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බවත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බවත් එහිදී ඇය සඳහන් කළාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බවයි. ඒ අනුව දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග ඇති ස්ථාවරය ජනාධිපති ජෝ බයිඩ්න් වෙනුවෙන් තමා ප්‍රකාශ කරන බවයි.
තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වූවාය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung), ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සොනාලි කෝදි (Sonali Korde), ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලි කවුර් (Anjali Kaur) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවු (Gabriel Grau) යන මහත්ම මහත්මීහු එක්ව සිටී මෙම හමුවට මා ද ඇතුළුව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.