‘ඇමති මැර නාටක යළිත් කරළියේ…!’ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනමේ කියන රාජ්‍ය අමාත්‍යවරයා වහා අත් අඩංගුවට ගනු..! – විමල් වීරවංශ .

0
241

‘ඇමති මැර නාටක යළිත් කරළියේ…!’
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන
මේ කියන රාජ්‍ය අමාත්‍යවරයා වහා අත් අඩංගුවට ගනු..!
-විමල් වීරවංශ .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ඕමාන ජාතිකයෙකුට අයත් ඇගලුම් කර්මාන්ත ශාලාවකට කඩා වැදුණු, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ගෝල බාලයන් පිරිසක්, එම කර්මාන්ත ශාලාවේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ඕමාන ජාතිකයාට පහර දී, කර්මාන්ත ශාලාවටද අලාභ හානිසිදුකර පලාගොස් ඇති බව පසුගිය සිකුරාදා දිනයේ වාර්තා විය.

මෙම සිදුවීමට සම්බන්ධ, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එකී රාජ්‍ය අමාත්‍යවරයා වහා අත් අඩංගුවට ගන්නා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

ඕමාන ජාතික ආයෝජකයාට පහර දීමේ සිදුවීමට විරෝධය පා ඔහු විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්.


කටාන ඕමාන ඇඟලුම් කම්හලට එල්ල කළ “ම්ලේච්ඡ ඇමති මැර ප්‍රහාරය” දැඩි සේ හෙළා දකිනවා!

අදාළ රාජ්‍ය ඇමති වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි!

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැර කණ්ඩායමක් කටාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන, ඕමාන ආයෝජකයකුට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකට කඩාවැදී එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕමාන ජාතිකයාට සහ ආරක්ෂක නිලධාරීන්ට පහරදී කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දේපළවලට ද අලාභහානි කර පලා ගොස් ඇතැයි මාධ්‍ය මගින් දැනටමත් අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකා රාජ්‍යයත් එහි ජනතාවත් දැඩි අපකීර්තියට පත් කරමින් සිදු කරන ලද මේ නින්දිත, ම්ලේච්ඡ ක්‍රියාව අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ දැනුම් දීම මත ඔහුගේ “ගෝලයකු” පසුගිය මාර්තු 30 වැනිදා ඉහත කර්මාන්ත ශාලාවට ගොස් ඇත්තේ තමන්ට අයත් වෑන් රථයක් කර්මාන්ත ශාලාවට කුලී පදනම මත ලබා දීමට අවශ්‍ය යැයි කියමිනි. මේ අවස්ථාවේ එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය දැනුම් දීමෙන් අනතුරුව “ඇමති ගෝලයා” පාලනාධිකාරියට බැණ වැදී, තර්ජනය කර ඇත. එසේම පසුදින රාත්‍රියේ බලහත්කාරයෙන් කම්හල් පරිශ්‍රයට කඩාවැදී ඇති ඇමති මැරයන්, ආරක්ෂක නිලධාරියකුට පහර දෙමින්, එහි පිහිටි තම නිල නිවසේ සිටි කම්මල් කළමනාකාර අධ්‍යක්ෂවරයාට ද පහර දී ඔහුගේ නිවසේ දේපළවලට, වාහනයකට අලාභහානි කර පලා ගොස් ඇත.

දරුණු ආර්ථික අර්බුදයකට පත්ව සිටින රටක, ඵලදායී විදේශ ආයෝජන ඉල්ලා සිටින රටක, රාජ්‍ය පාලනය හා සම්බන්ධ “උකුණු හිසක තරම්වත් මොළයක් ඇත්තකු” මෙවන් ක්‍රියා සඳහා අනුබල දෙන්නේ නැත. නමුත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි “බල්ලො මරා හෝ සල්ලි හොයන දේශපාලන සංස්කෘතිය” තවමත් රජ කරනු ලබයි. මේ එහි නවතම ප්‍රතිඵලයයි. මෙවන් නිර්ලජ්ජිත සිදුවීම් අපට යළි යළිත් අවධාරණය කරනුයේ, එකී තුච්ඡ, නින්දිත දේශපාලන සංස්කෘතිය වෙනුවට තරුණ පරපුර ඉල්ලා සිටින “ආදර්ශය වපුරන දේශපාලන සංස්කෘතියක” යළි ආගමනයයි.

තවද ඕමාන රජය තම ආයෝජන සමාගමකට ශ්‍රී ලංකාව තුළ දී උරුම වූ ඛේදනීය ඉරණම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා ඇති මේ මොහොතේ, එම නින්දිත සිදුවීම පිළිබඳව අප ද මෙරට ජනතාව වෙනුවෙන් ඕමාන රජයට මෙන්ම අදාළ ආයෝජන සමාගමට අපගේ බලවත් කනගාටුව පළ කර සිටීමට ද මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

අවසන් වශයෙන් මෙම ම්ලේච්ඡ සිදුවීම යළිත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින්, විමර්ශනවලදී හෙළිවී ඇති මෙම සිදුවීමට සෘජුව සබඳතාවක් පෙන්නුම් කරන අදාළ රාජ්‍ය අමාත්‍යවරයා ද වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට යොමු කරන ලෙස අදාළ බලධාරීන්ට අවධාරණය කර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.),

නායක,

ජාතික නිදහස් පෙරමුණ,

2023-04-02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − five =