එක්ස්ප්‍රස් පර්ල් අවනඩුව;
“ඩොලර් බිලියන 6.2 වෙනුවට,
රක්ෂණ සමාගම යෝජනා කළ
ඩොලර් 878,000 ක වන්දිය භාර ගැනීමට
රජය කැමති වූවා ද..?”
මීපා හිටපු සභාපතිනිය අසයි.
මෙරට මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන්, ඇමරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් ලබා දීමට, නැව රක්ෂණය කර තිබෙන රක්ෂණ සමාගම එකග වී ඇති අතර, එම මුදල භාර ගැනීමට ශ්‍රී ලංකා රජය සිය කැමැත්ත පළ කළාද යන්න පිළිබදව රජය වහා ප්‍රකාශයක් කළ යුතු බව, මීපා ආයතනයේ හිටපු ප්‍රධානී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසයි.
ඒ තුළ වූ බහාලුම් 1486 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග, නැව, කොළඹ වරායට නුදුරු මුහුදේ දී මුහුදුබත් විය.
නැව අයත් රක්ෂණ සමාගම, නැව මුහුදුබත් වීම හේතුවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක් සහ ශ්‍රී ලංකා මුදලින් තවත් රුපියල් මිලියන 16 ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, අදාල රක්ෂණ නියෝජිතයන් සමග සිංගප්පූරුවේ පැවැත් වූ සාකච්ඡා සදහා සහභාගී වූවේ නීතිපති සංජය රාජරත්නම මහතා බැවින්, ඔහු මේ පිළිබදව නිශ්චිත පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇති බව හිටපු මීපා සභාපතිනිය පවසයි.
නැව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හානිය තක්සේරු කිරීම සදහා මීපා ආයතනයේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කර තිබුණු අතර, එම කමිටුව කියා සිටියේ, අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක මුදලක් සිදු වූ පරිසර හානිය පූරණය කර ගැනීම සදහා නැව් සමාගමෙන් අයකර ගත යුතු බවයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සදහා කිසියම් පාර්ශ්වයක් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව දැනගන්නට ඇතැයි, අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ හෙළිකර සිටියේ ය.