“එජාප ආර්ථික වැඩපිළිවෙළට අද පොහොට්ටු පක්ෂයත් සහාය දෙනවා…!” ජනපති රනිල්.

0
66

“එජාප ආර්ථික වැඩපිළිවෙළට
අද පොහොට්ටු පක්ෂයත්
සහාය දෙනවා…!”
ජනපති රනිල්.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩ පිළිවෙලට, පොහොට්ටු පක්ෂයද සහාය ලබා දෙමින් සිටින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෑගල්ල, අරණායක, අසුපිනි ඇල්ල ජල යෝජනා ක්‍රමය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසී ය.

ජල යෝජනා ක්‍රමයෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට පිරිසිදු පානීය ජලය සැපයේ.

ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පලකළ අදහස් පහත දැක් වේ.

2018 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම ජල යෝජනා ක්‍රමයට මුල්ගල තැබීමට පැමිණියා. අද මම ජනාධිපතිවරයා ලෙස එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පැමිණීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. එවකට මෙම ජල යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමට මා පැමිණියේ කබීර් හෂීම් මැතිතුමා කළ ඉල්ලීම මතයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙනවා.

කබීර් හෂීම් ඇමතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ඊළඟට පත්වූ ආණ්ඩුවද ඉදිරියට ගෙන ගොස් අද වන විට ජීවත් තොණ්ඩමන් ඇමතිතුමාගෙ ධුර කාලයේදී අවසන් කර තිබෙනවා. අද ආරම්භ කරන මෙම ජල යෝජනා ක්‍රමය මගින් ලක්ෂ දෙකක පමණ ජනතාවකගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් දායක වූ සියලු සේවක මහත්ම මහත්මීන්ට මගේ ස්තුතිය පිරිනමනවා.

පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියා ප්‍රකාශ කිරීමෙන් පසුව කිසිදු ආයෝජකයෙක් මෙරටට පැමිණියේ නැහැ. හිටපු ආයෝජකයන් රටින් ගියා. එවැනි පරිසරයක් තුළ විදේශ ආයෝජකයින් ලංකාව ට ආධාර උපකාර ලබාදීමට උනන්දු වෙන්නේ නැහැ.එවැනි තත්ත්වයක් තුළ මම රට භාර අරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් රටේ ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මොකද සිංහල වුණත් දෙමළ වුණත් මිනිස්සු හිඟන්නෝ විදියට ජීවත් වෙන්න කැමැති නැහැ. ඔවුන් කැමැති නම්බුකාර ලෙස අභිමානයෙන් ජීවත් වීමටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අසීරු කොන්දේසි පනවා තිබුණා. නමුත් අපට වෙන විකල්ප තිබුණෙ නැහැ. මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දි මෙවැනිම කොන්දේසි ඉදිරිපත් කෙරුණා. එහිදී පසුගිය එක් ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙණුවලින් ඉවත් වුණා. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් එම වැඩපිළිවෙල නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගෙන යමින් සිටිනවා.

එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.

අද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියට පොදුජන පෙරමුණේ අයත් කැමත්ත පළ කර අවශ්‍ය සහාය ලබා දී තිබෙනවා. මේ රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් එම සහයෝගය ඉතා වැදගත්. බංකොලොත් භාවයෙන් මිදී නම්බුකාර රටක් ගොඩ නැගීමට අපි සියලු දෙනාම එක්වී කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =