මත්පැන් මිල ඉහළ යාම සහ රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන් මත් පැන් ඉල්ලුම 30%කින් පහත වැටී ඇති බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී හෙළි වී තිබේ.
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සදහා බදු ඉහළ දමා ඇති නමුත්, සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කරන ආදායම නොලැබී යාමට මේ තත්ත්වය හේතුවනු ඇති බව පැවසේ.
මේ අතර මෙරට පවුල්වලින් 86% ක් ආහාර මිල ඉහළ යෑම දරාගැනීම පිණිස ආහාර අඩුවෙන් මෙන්ම පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගන්නා බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙළ කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබේ.තවත් සමහර පවුල් පෝෂ්‍ය ගුණය අඩුවෙන් ආහාර ලබා ගන්නා අතරේම ආහාර වේල් සම්පූර්ණයෙන්ම මගහරින බවද එම සමීක්‍ෂණයේදී හෙළිවී තිබේ.
විශේෂයෙන් ගැබිනි මව්වරුන්ට දිනපතා පෝෂ්‍යදායී ආහාර අවශ්‍ය නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන අයට මූලික ආහාර පවා ලබාගැනීම අතිශයින් දුෂ්කර වී ඇතැයි ලෝක ආහාර වැඩපිළිවෙළේ ආසියාව සහ පැසිපික් කලාපය සඳහා වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ඇන්තියා වේබ් පවසන්නීය.
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ මගින් සිදුකරනු ලබන හදිසි ප්‍රතිචාර දැක්වීම යටතේ කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට රුපියල් 15000 ක් වටිනාකමින් යුත් ආහාර වවුචර්පත් ලබාදීමට පසුගියදා පියවර ගෙන තිබිණි. මේ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි කාන්තාවන් 2000 කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ පවසයි.