‘චීනයේ සහාය තවමත් නෑ…!
අයි.එම්.එෆ් ණය ලැබීම අඩමානයි..!
ලංකාවේ අර්බුදය තවත් උග්‍රවිය හැකියි.’
හිංදුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනයේ සහාය මෙතෙක් ලැබී නැති බවත් ඒ හේතුවෙන් ආර්ථික පුණර්ජීවනයක් අත්කර ගැනීම සදහා වූ ලංකාවේ අපේක්ෂාවන් යම් අඩමානයකට ලක්ව ඇති බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
වසර හතරක් තුළ වාරික අටක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටියි.
ඊට අදාලව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමට ඉන්දියාව සහ පැරිස් සමාජයට අයත් රටවල් මේ වන විටත් සිය එකගතාවය පළ කර ඇති නමුත් චීනය පමණක් ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක සිටියි.
චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.8 කට ආසන්න ණය මුදලක් ලංකාව ලබාගෙන ඇති අතර හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට එම මුදල් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපල සහ කොළඹ වරාය වැනි සුදු අලි ව්‍යාපෘති සදහා ය.
නව සහශ්‍රකය ආරම්භයේ සිටම වාගේ ලංකාවේ දේශපාලන නායකත්වය චීනය වෙත බැදී සිටි බවත් ඒ හේතුව මතම ඔවුන් ඉන්දියාවෙන් ඈත්ව සිටි බවත් හින්දුස්ථාන ටයිම්ස් පවසයි. චීනය සමග ඇති මේ සුවිශේෂ සම්බන්ධය හේතුවෙන් ලංකාව තවමත් ත්‍රීකුණාමල වරාය සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අනුමැතිය ලබා දී නැති බවද පුවත්පත අවධාරණය කරයි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ දී චීනය එකග වී ඇත්තේ වසර දෙකක ණය සහන කාලයක් ලබා දීම සදහා පමණි. තත්ත්වය එසේනම් නුදුරේදීම ලංකාවේ ආර්ථිකය තව දුරටත් බිද වැටෙනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් අවධාරණය කරයි.
මේ තත්ත්වය මත චීනය නොතකා හරිමින් ලංකාවට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකියාව ඇති නමුත් එහිදී ලංකාවට අදාලව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන කොන්දේසී තව දුරටත් දැඩි විය හැකි බව පුවත්පත පවසයි.
මේ අනුව ලංකාවේ අර්බුදය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බව පවසන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ අර්බුදයෙන් ගොඩ ඒම සදහා තවත් දශකයක පමණ කාලයක් ලංකාවට ගතවනු ඇති බවද පවසයි.