“ජනාධිපතිවරණයේ දී
පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ඔබට ලබා දෙන්නම්.
ලන්සාගේ සන්ධානය විසුරුවා හරින්න..!”
බැසිල් ජනපති රනිල්ට කියයි.
සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
ඉදිරි ජනාධිපතිවරණයක දී පොහොට්ටු පක්ෂයේ සම්පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කැමති බව, එම පක්ෂයේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
එසේ සහාය ලබා දෙන බැවින්, පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ සහාය ලබා ගැනීමේ අරමුණෙන් නිමල් ලාන්සාගේ මැදිහත් වීමෙන් ගොඩ නගමින් පවතින සන්ධානය විසුරුවා හරින ලෙස, බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පුවත්පත වාර්තා කරයි.
නිමල් ලාන්සා, පොහොට්ටු පක්ෂයෙන් පසුගිය මැතිවරණය සදහා තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මැති ඇමතිවරු හතලිස් දෙනෙකුගේ පමණ සහාය, ජනාධිපතිවරයා වෙත දිනා දීමට සමත්ව සිටියේ ය.
නමුත්, බැසිල් ගෙනැවිත් තිබෙන මෙම නව යෝජනාවත් සමග, නිමල් ලාන්සාගේ මැදිහත් වීමෙන්ගොඩ නගමින් පැවති එකී සන්ධානයේ අනාගතය යම් අවිනිශ්චිත අඩියකට වැටී තිබේ.
පොහොට්ටු පක්ෂයෙන් පිරිසක් කඩා ගෙන, ඔවුන්ගේ සහාය ජනාධිපතිවරයාට ලබා දීම සදහා වූ ඔහුගේ මෙහෙයුම, මුල් අවදියේ දී නිමල් ලාන්සා දියත් කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට බවත්, පසුව ඔහු, රාජගිරිය ප්‍රදේශයෙන් වෙනම කාර්යාලයක් කුලී පදනම යටතේ ලබාගෙන, ජනාධිපතිවරයාට පක්ෂ කදවුර පුළුල් කිරීමේ කාර්යයෙහි නිරතව සිටි බවත් පැවසේ.
බැසිල්ගෙන් ඉදිරිපත් වූ යෝජනාවට පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිමල් ලාන්සාට පවසා ඇත්තේ, ගොස් බැසිල් රාජපක්ෂ මුණ ගැහෙන ලෙසයි. ජනාධිපතිවරයාගේ එම යෝජනාව සම්බන්ධයෙන් නිමල් ලාන්සා නොසතුටට පත්ව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටියි.
නිමල් ලාන්සා, පොහොට්ටු පක්ෂයේ කොටසකගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කටයුතු කරන බව දැනගත් මුල් අවස්ථාවේ දී පොහොට්ටු පක්ෂය ඒ සම්බන්ධයෙන් එතරම් තැකීමක් කර නොතිබුනද, ලාන්සාගේ මෙහෙයුම, පොහොට්ටු පක්ෂයේ මුල් පෙළ නායකයන් හිතුවාට වඩා සාර්ථක වෙමින් තිබුණි.
ලන්සා ගොඩ නගන සන්ධානයේ අරමුණ වී තිබුණේ පොහොට්ටු පක්ෂය දේශපාලනමය වශයෙන් කොන් කිරීමය.
ඉදිරි මැතිවරණය දී, පොහොට්ටු පක්ෂයේ පිරිසක් සෘජුව එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙනු ඇතැයි අනුමාන කරන අතර, සෘජුව එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට අකමැති පිරිස් සදහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා විකල්ප සන්ධානයක් ලෙස ලාන්සා ගොඩ නගන දේශපානන සන්ධානය පවතී.
ලාන්සා මේ සන්ධානය ගොඩ නගමින් සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයක දී සිය පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන්නේ ය යන දැඩි ස්ථාවරයක පොහොට්ටු පක්ෂය එල්ඹගෙන සිටි යුගයක යි.
නමුත් දැන් පොහොට්ටු පක්ෂය එම ස්ථාවරය වෙනස් කරගෙන ඇති අතර, ඉදිරි ජනාධිපතිවරණයක දී පොහොට්ටු පක්ෂයේ සම්පූර්ණ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිය එකගතාවය පළ කර තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත ඇසුරෙනි.