ජනාධිපති කාර්යාලයෙන් එපා කියා තිබියදීත් දියවැඩියා පරීක්ෂණය පටි මිලදී ගැනීමේ සූදානමක්..!

0
95

‘ජනාධිපති කාර්යාලයෙන් එපා කියා තිබියදීත්
දියවැඩියා පරීක්ෂණය පටි මිලදී ගැනීමේ සූදානමක්..!
තවත් මහා පරිමාණයේ වංචාවක්ද…?’
ලංකාදීප වාර්තා කරයි.

ඉන්දියානු සමාගමකින් ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි මිලදී ගැනීමට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය උත්සාහ දරා තිබුණු අතර, විවිධ පාර්ශ්ව වෙතින් එල්ල වූ විරෝධය හේතුවෙන්, ජනාධිපති කාර්යාලය මැදිහත් වී එම උත්සාහය වළක්වා තිබේ.

රුපියල් 15 ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකි දියවැඩියා පරීක්ෂණ පටියක් එම අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යංශය මිලදී ගැනීමට උත්සාහ දරා තිබුණේ රුපියල් 85 ක් වැනි ඉහළ මිලකට යි.

කෙසේ හෝ එම අවස්ථාවේ දී අදාල වංචාව වළක්වා ගැනීමට හැකි වුවත් නැවතත් ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි තොගයක් මිලදී ගැනීමේ උත්සාහයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙසේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම උත්සාහය දරනු ලබන්නේ ප්‍රමාණවත් තරමට දියවැඩි පරීක්ෂණ පටි රට තුළ තිබිය දී බවද පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ලංකාදීප වෙබ් අඩවිය පළකර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්.

ප්‍රමිතියක් නැති දියවැඩියා පරීක්ෂණ පටි පිටුපස මහාපරිමාණ වංචාවක්?


(රංජන් කස්තුරි)

ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය මගින් නතර කර තිබියදීත් නැවත ඒවා මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක අවශ්‍ය තරම් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබියදීත් ප්‍රමිතියෙන් තොර පටි සහ මාපක මිලදී ගැනීම පිටුපස මහාපරිමාණ මූල්‍යවංචාවක් තිබෙන බවට සැකකරන බවද එම ආරංචි මාර්ග කියයි. 

ඉන්දියානු සමාගමකින් ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර අවස්ථා කීපයකදී උත්සාහ ගත් අතර ඒ පිළිබඳව විවිධ පිරිස් චෝදනා කිරීම නිසා ජනාධිපති කාර්යාලය මැදිහත්වී පරීක්ෂණයක් පවත්වා ඒවා මිලදී ගැනීම නතර කර තිබිණ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38 ක පමණ මුදලක් වැය කර ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට ‍ සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සූදානම් වූයේ ඖෂධ අධිකාරියේ ලියාපදිංචියක් වත් ලබාගෙන නොමැති සමාගමකිනි. 

දියවැඩියා පරීක්ෂණ පටියක් රුපියල් 15 ක වැනි මිලකට මිලදී ගැනීමට හැකි වුවත් ප්‍රමිතයෙන් තොර පරීක්ෂණ පටියක් එවර රුපියල් 85 ක් වැනි වැඩි මිලකට මිලදී ගැනීමට සැලසුම් කර තිබිණ.

කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙවර එම පටි සහ මාපක මිලදී ගැනීමට තාවකාලික අවසරයක් ලබාදී ඇතැයි ද කියති. 

වෛද්‍ය සැපයීම් අංශයට ඉකුත් දිනවල ටෙන්ඩර් පටිපාටිය යටතේ දියවැඩියා පරීක්ෂණ පටි ලක්ෂ 10 ක් සහ මාපක 5000 ක් ලබාගෙන ඇති අතර මේවන විට ඒවායේ හිඟයක් නැති බවද පැවැසේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 7 =