‘දිනන්නේ අපි කොට
අපි මොකටද ඡන්දෙට බය වෙන්නේ…?’
මහින්ද රාජපක්ෂ.
ඡන්දෙට බයද කියා සමහරු තමන්ගෙන් අසන බවත්, දිනන බව ස්තිර වශයෙන්ම දන්නා තමන් ඡන්දෙට බය වෙන්නේ කුමන හේතුවකටදැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විමසයි.
ඔහු එසේ විමසා සිටියේ අද මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති පොහොට්ටු පක්ෂයේ පාක්ෂිකයන්ගේ හමුවක දී ය.
එම අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පහත අදහස් ප්‍රකාශ කර සිටියේ ය.
‘තව සමහරු අහලා තිබුණා ඡන්දෙට අපි බය ද කියලත්. අපි දිනනවා කියලා දන්නවා නම් අපි බය වෙන්නෙ මොකට ද ? බය වුණ අය තමයි අද රට ගැන නොහිත ජනතාව කුපිත කරන්නෙ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො පාරට බස්සල අද මොනවද මේ කරන්නේ. රටත් අවුල්කරලා ඒ ළමයින්ගේ මිනී උඩින් හරි දේශපාලනය කරන්නයි ඒ අයට බලාගෙන ඉන්නෙ.
දැන් බලන්න ගෝල්ෆෝස් අරගලය පිටිපස්සේ කවුද හිටියේ කියලා, ඒ අය කෝ දැන්. කට්ටියක් ජවිපෙත් එක්ක මාලිමාවේ ඉන්නවා.තව කට්ටියක් සජබෙත් එක්ක ඉන්නවා. 71 වුණෙත් මේ දේමයි. 88-89 ත් වුණෙත් මේ දේමයි. අපි අමුතුවෙන් ඒ අතීත කතා මතක් කරන්න අවශ්‍ය නැහැ. මෙතන ඉන්න අයත්, මුළු රටමත් ඒ කෙරුවාව ගැන හොඳට දන්නවා.
අද ඒ අය පාසල් දරුවන්වත් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනා ගන්න තැනට වැටිලා. උසස් පෙළ ලියල ඉන්න දරුවන්ගෙ ප්‍රශ්න පත්‍ර ටික බලල ඉවරකරන්න තාම බැරිවෙලා තියෙනවා. ඉස්සර ගුරුවරු නම් මෙහෙම නැහැ.දැන් හැම දේම සල්ලි ඉස්සරහාට දාගෙන. සල්ලි උවමනාතමයි ඒත් ඊට එහා ගියපු මානුෂීය බැඳීම් මේ රටේ ජනතාවට තිබුණා. මේ නරක පූර්වාදර්ශයන් හැම ගුරුවරයෙක්ම අනුමත නොකරන බවත් අපි දන්නවා.
මේවා දේශපාලන අරමුණු එක්ක ක්‍රියාත්මක වෙන්න ගියාම ගොඩක් ගුරුවරු අසරණ වෙනවා. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බලන්න ප්‍රමාද වෙනවා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයත් කල් යනව කියන එක. ගිය අවුරුද්දේ දෙසැම්බර් තියන්න තියපු විභාගේ තමයි මේ අවුරුද්දේ මැයි තියන්න හැදුවේ. දැන් ජුනි මාසෙ වෙනකම් කල් යනවා කියලයි කියන්නේ. මේ දේවල් එච්චර හොද දේවල් නෙමෙයි. මම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවෝ ගැන හිතන්න. ඔබටත් දරුවෝ ඉන්නවා.
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ටත් මම කියන්නෙ රෝගින්ව ප්‍රාණ ඇපයට නොගෙන තමන්ගෙ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්න. අසාධාරණය වෙනුවෙන් නැගි සිටිනවාට අපි කවුරුත් විරුද්ධ නැහැ.
හැබැයි රටේ මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජිවිතයක් කඩා බිඳලා දානවා නම් ඒ අය කරන්නෙ මහ අපරාධයක්. ඔබ සියලුදෙනාම ඉදිරියට ඇවිත් රට වෙනුවෙන් කතා කරන්න. චෝදනා කරන අයට ඒවා ඔප්පු කරලා කතා කරන්න කියන්න. එතකොට මේ මහ බොරු සමාජගත කරලා දේශපාලන බලය ලබාගන්න කල්ලි වෙනුවට සැබෑ ජනතාවාදි ඔබ සියලුදෙනාට රට නියම මාවතට ගන්න අවස්ථාවක් ලැබෙන බව සිහිපත් කරමින් මම මගේ කතාව අවසන් කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා!’