එදා චෝදනා එල්ල වූවේ ශශේන්ද්‍රට..!
නැනෝ පොහොර ආනයනයෙන් සත පහක වැඩක් වෙලා නෑ..!
ඇමති මහින්ද අමරවීර කියයි.
2021 වසරේ දී නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් රට තුළට ගෙන් වා ඇති නමුත්, ඉන් කිසිදු ප්‍රයෝජනයක් වී නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
නැනෝ පොහොර ආනයනයේ දී කිසියම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිළධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයට තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවසී ය.
කෙසේ වෙතත්, නැනෝ පොහොර ආනයනය සිදු වූ 2021 වසරේ දී ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් රට තුළ ඇති විය.
ඒ සම්බන්ධයෙන් එවකට සිටි රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වූ අතර, ඔහු පැවසූවේ, නැනෝ පොහොර ආනයනයේ දී කිසියම් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇද්දැයි සොයා බලන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
නමුත් එම පරීක්ෂණයට සිදුවූවේ කුමක්දැයි වාර්තා වූවේ නැත.
ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද, නැනෝ පොහොර ආනයනයේ දී මූල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට චෝදනා කළ අතර, ඔහු පැවසූවේ, නැනෝ පොහොර සදහා ඉන්දියානු සමාගමට ගෙවිය යුතු මුදලින් ඩොලර් මිලියන 1.275 ක මුදලක් මෙරට පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැර වී ඇති බවයි. එම ගිනුම් හිමියන්ගේ නම් පවා ඒ අවස්ථාවේ දී ඔහු හෙළි කර සිටියේ ය.