‘නීතීඥ සංගමය ඇතුළු
අදාල කිසිදු පාර්ශ්වයකින් උපදෙස් ගෙන නෑ.
ප්‍රති ත්‍රස්ත පනත කල් දමන්න.’
ශ්‍රී ලංකා නීතීඥ සංගමයි.
පසුගිය මාර්තු 22 වන දා ගැසට් කරන ලද ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අදාල කිසිදු පාර්ශ්වයකින් උපදෙස් ලබා නොමැති බැවින් පනත කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
නීතියේ ආධිපත්‍ය සහ පුරවැසි නිදහස හෑල්ලුවට ලක්වන බව හැගෙන ඕනෑම පනතකට එරෙහිව නැගී සිටීමට නීතීඥ සංගමය පසු බට නොවන බවද එම සංගමය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, නව ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන එන්නට රජය කටයුතු කරමින් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් තහවුරු කර තිබෙන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට කිසිදු නීතියක් සම්පාදනය නොකළ යුතු බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වුවහොත් දුරදිග යන බලපෑම් ඇති කළ හැකි බවට අනතුරු හගවයි.
එබැවින්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයද ඇතුළුව අදාල සියළු පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගන්නා තෙක් පනත් කෙටුම්පත කල් දමන ලෙස නීතීඥ සංගමය ඉල්ලා සිටියි.