මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ්
ලංකාව නියෝජනය කරමින්
ඊජිප්තුවේ දේශගුණ සමුළුවට සහභාගී වීම
දැඩිව ප්රශ්න කරයි…!
මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා මේ දිනවල ඊජිප්තුවේ පැවැත්වෙන ලෝක එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සදහා සහභාගී වෙමින් සිටියි.
ඔහු එම සමුළුව සදහා සහභාගී වී සිටින්නේ මාලදිවයින නියෝජනය කරමින් නොව; ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.
මාලදිවයින් කතානායකවරයා මෙසේ ලංකාව නියෝජනය කරමින් අදාල සමුළුව සදහා සහභාගී වීම මාලදිවයින තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
කතානායක ධූරය සදහා මාලදිවයින් මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන මොහොමඩ් නෂීද් වෙනත් රටක් (ශ්‍රී ලංකාව) වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශ්නයක් බව හිටපු නීතිපතිවරයෙකු වන ආචාර්ය මොහොමද් මුනර්වර් මහතා ප්‍රශ්න කර තිබේ.
හිටපු නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩය මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දූල් ගයූම් මහතා ද යළි ට්වීට් කර ඇති බව පැවසේ.
මාලදිවයිනේ කතානායකවරයා වශයෙන් කටයුතු කරන අතරේ වෙනත් රටක් නියෝජනය කිරීමට ව්‍යවස්ථාවෙන් ඔහුට බලය නැති බවත් තවත් හිටපු නීතිපතිවරයෙකු වන දියානා සයීද් ද ප්‍රකාශ කරයි.
මාලදිවයිනේ කතානායකවරයාගේ මෙම සංචාරය සදහා මාලදිවයින රජය වියදම් දරන්නේ ද යන්න හෙළිකළ යුතුව ඇති බව තවත් පාර්ශ්වයක් රජයට බල කරමින් සිටියි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශගුණ විපර්යාස උපදේශකයෙකු ලෙස මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීද් මහතා පත් කර තිබේ.
එම කරුණ මතුකරමින් මොහොමද් නෂීද් ට පක්ෂපාතීව අදහස් දක්වන පිරිසක් ද සිටින බව පැවසේ.