‘රටේ දැවැන්ත ආහාර අර්බුදයක් තියෙනවා. ජනගහනයෙන් 60% ක් ම කන්නේ භාගෙට..!’ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ.

0
133

රටේ දැවැන්ත ආහාර අර්බුදයක් තියෙනවා.
ජනගහනයෙන් 60% ක් ම කන්නේ භාගෙට..!
ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ.

රටේ දැවැන්ත ආහාර අර්බුදයක් පවතින බවත් මේ වන විට මෙරට ජනගහනයෙන් 60% ක් ම ඔවුන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බව සංඛ්‍යා දත්ත අනුව පෙනී යන බවත් ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන බටගොඩ මහතා පවසයි.

පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16 දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත් වී ඇති අතර ආචාර්ය සුරේන් බටගොඩ මහතා එහිදී දැක් වූ අදහස් පහත පරිදි වේ.

“පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබා දීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි.

ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුලුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේ දී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමගින් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් රටේ ආහාර හිඟතාවයකින් තොරව ජනතාවට ලබා දිය හැකියි. මේ ආහාර අර්බුදය ඇති වීමට රාජ්‍ය නිලධාරින් එක් පැත්තකින් වගකියන්න ඕන. රාජ්‍ය නිලධාරින් වශයෙන් අපිත් මෙයට මැදිහත් විය යුතුයි. මෙම ආර්ථික කේන්ද්‍රය හරහා ආහාර සහ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 14 =