“රදගුරු සංගමයේ ස්ථාවරය සහ
කාදිනල් හිමිගේ ස්ථාවරය
සියයට සියයක්ම සමානයි…!”
රදගුරු සංගමය නිවේදනය කරයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දඩුවම් දීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන්, කාදිනල් හිමි සහ රදගුරු සංගමය අතර කිසිදු මතභේදාත්මක තත්ත්වයක් නැති බව රදගුරු සංගමයේ සභාපති, ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා මහතා ද අයිලන්ඩ් පුවත්පත සමග පවසා තිබේ.
සිය ජර්මන් සංචාරය අතරතුරු, එරට ප්‍රධානතම රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පාස්කු ප්‍රහාරයට අදාල සමස්ත සිදුවීම් දාමය සම්බන්ධයෙන් කාදිනල් හිමිගේ ස්ථාවරයත් රදගුරු සංගමයේ ස්ථාවරයක් එකක් නොවන බව හැගී යන ආකාරයේ ප්‍රකාශයක් සිදු කලේ ය.
අදාල රූපවාහිනී සංවාදය මෙහෙය වූ නිවේදකයා මැල්කම් රන්ජිත් කාදිනල් හිමිගේ ප්‍රකාශයක් උපුටා ගනිමින් අදහස් දැක්වීමට ගත් විට, “කාදිනල් හිමිගේ නොව; රදගුරු සංගමයේ අදහස් ඔබ ලබා ගත්තා දැයි” ජනාධිපතිවරයා ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කර සිටියේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන්, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීම පිළිබද කාරණයේ දී රදගුරු සංගමයේ සහ කාදිනල් හිමිගේ ස්ථාවරය අතර වෙනසක් ඇති බව හැගී ගියේ ය.
කෙසේ වෙතත්, පාස්ක ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමත්, අත්‍යවශ්‍ය බව රදග-ුරු සංගමය ද දීර්ඝ කාලයක සිට අවධාරණය කරමින් සිටින බව එහි සභාපතිවරයා පවසයි.
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන කටයුතු සදහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ සහාය ලබා ගන්නා බව මීට වසරකට පමණ පෙරදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ විට, තමන් පුදුමයට පත් වූ බව රදගුරු සංගමයේ සභාපතිවරයා පවසයි.
විමර්ශන කටයුතු සදහා විදේශීය සහාය ලබා ගැනීමට පෙර කළ යුතුව ඇත්තේ, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව මගින් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම බව රදගුරු සංගමය පවසයි.