රාත්‍රියේ විහාරස්ථාන අදුරේ තැබීමට භික්ෂූන් ගෙන තිබෙන තීරණය විශිෂ්ඨයි.
ඉන් විශාල විදුලියක් ඉතිරිකරගත හැකියි.
මහජන උපයෝගීතා කොමිසමෙන් පැසසුම්..!
විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පෑමක් ලෙස රාත්‍රී කාලයේ දී විදුලිපහන් නොදල්වා විහාරස්ථාන අදුරේ තැබීමට භික්ෂූන්වහන්සේලා ගෙන තිබෙන තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පැසසුමට ලක්ව තිබේ.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත්තේ එම තීරණය හේතුවෙන් විදුලිය සෑහෙන විදුලිය ප්‍රමාණයක් ඉතිරිකරගත හැකි බවයි.
රට තුළ පවතින විහාරස්ථානවලින් සාතිශය බහුතරයකට විදුලි බිල ගෙවීම ගැටළුවක් වී නැති බව පවසන ඒ මහතා විදුලි බිල ගෙවීම ප්‍රශ්නයක් වී ඇත්තේ සුඛෝපභෝගී විහාරස්ථානවලට යැයිද චෝදනා කරයි.
විහාරස්ථානවල විදුලිබිලට සහනයක් ලබා දීම සදහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බව පවසා ඇති ජනක රත්නායක මහතා විදුලි බල මණ්ඩලයද පාඩු ලබන ආයතනයක් බැවින් ඊට මැදිහත් වීමේ හැකියාවක් ඔවුන්ටද නැති බව පවසා තිබේ.
එමෙන්ම විහාරස්ථානවල විදුලිබිල මහජනතාවගේ මුදලින් ගෙවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවටද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා තිබේ.