“ලෝකයේ ආලෝකය ඇමරිකාවයි..! හමාස් සංවිධානයට හෝ පුටින්ට ජයගැනීමට අප ඉඩ දෙන්නේ නෑ..!” ජෝ බයිඩ්න් ජාතිය අමතයි.

0
968

“ලෝකයේ ආලෝකය ඇමරිකාවයි..!
හමාස් සංවිධානයට හෝ පුටින්ට
ජයගැනීමට අප ඉඩ දෙන්නේ නෑ..!”
ජෝ බයිඩ්න් ජාතිය අමතයි.

ඊශ්‍රායල සංචාරය නිමවා යලි සිය රටට පැමිණි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ධවල මන්දිරයේ සිට අද ජාතිය ඇමතී ය.

සිය කතාවේ දී ඔහු, යුක්රේන යුද්ධයත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන යුද්ධයත් පිළිබදව අදහස් දැක්වී ය.

ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ, හමාස් සංවිධානයට හෝ පුටින්ට මෙම යුද්ධ ජය ගැනීමට ඇමරිකාව ඉඩ නොදෙන බවයි.

ඉතිහාසයේ අපගමනාත්මක මන්සන්ධියකට ලෝකය පැමිණ තිබෙන බව අවධාරණය කරන ඇමරිකානු ජනාධිපතිවරයා, ඊට එරෙහිව මේ මොහොතේ අප ගන්නා ක්‍රියාමාර්ග අනුව, අනාගත ලෝකයේ හැඩය නිර්මාණය වනු ඇතැයි පවසයි.

ඇමරිකානුවකු ලෙස, තමන් වඩාත් කම්පා වන්නේ, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින ඇමරිකානු පුරවැසියන් පිළිබදව යැයි ඔහු පවසයි.

හමාස් සංවිධානය සහ රුසියානු ජනාධිපති පුටින් පිළිබදව සන්සන්දනයකට යන ජෝ බයිඩ්න්, දෙදෙනාම ආකාර දෙකකට ලෝකයට තර්ජනයක් වී ඇති බව කියයි.

යුක්රේනය සහ ඊශ්‍රායලය පිළිබදව අප වදවෙන්නේ ඇයිදැයි යමෙකු ප්‍රශ්න කළ හැකි බව පවසන බයිඩ්න්, යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ ජයග්‍රහණ, ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අතිශයින්ම වැදගත් බව අවධාරණය කරයි.

ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල් ආරක්ෂක පද්ධතිය යළි ස්ථාපනය කිරීම සදහා එක්සත් ජනපදය ආධාර කරන බව ද සිය කතාවේ දී ඇමරිකානු ජනාධිපතිවරයා පැවසී ය.

එමෙන්ම, සෑම ආකාරයකම ඉස්ලාම් විරෝධයන්, එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරන බවද බයිඩ්න් පවසයි. ඇමරිකාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් ඇමරිකානුවන් බව අවධාරණය කරන ජනාධිපති බයිඩ්න්, ඔවුන් තමන්ගේ පුරවැසියන් බවද පවසයි.

ඇමරිකාව, වෙන කවරදාටත් වඩා ශක්තිමත් බව පවසන බයිඩ්න්, ලෝකයේ ආලෝකය ඇමරිකාව බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =