වකුගඩු බද්ධ කිරීම සදහා අවශ්‍ය ඖෂධ ඇත්තේ තවත් සති දෙක තුනකට පමණයි…!

0
77

වකුගඩු බද්ධ කිරීම සදහා අවශ්‍ය ඖෂධ ඇත්තේ
තවත් සති දෙක තුනකට පමණයි…!

වකුගඩු රෝගීන් සදහාම ප්‍රතිකාර කරනු ලබන රජයේ ප්‍රමුඛ පෙලේ රෝහල්වල පැවති උග්‍ර ඖෂධ හිගය මේ වන විට තාවකාලිකව මග හැරී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සැලසුම් කර තිබෙන ආකාරයට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක් උදා වී ඇති නමුත්, එම තත්ත්වය තවත් සති දෙක තුනකට පසුව නැවත අඩාල වීමේ අවදානමක් ද පවතින බව ඉරිදා මෝර්නිං පුවත්පත අවධාරණය කරයි.

විශේෂයෙන්ම, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය බැසිලික්සිමැබ් basiliximab නමැති ප්‍රතිජීවක ඖෂධයේ පැවති හිගය, හදිසි මිලදී ගැනීම් හරහා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙන බව පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මෙම ඖෂධය මාස දෙකක පමණ කාලයක සිට හිගව තිබුණු බව, වකුගඩු රෝගීන් සදහා ප්‍රතිකාර ලබා දීමට වෙන් වූ කොළඹ ප්‍රමුඛ පෙලේ රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු පුවත්පත සමග පවසා තිබේ. එම අවස්ථාවේ දී, ඔවුන් එම ඖෂධ අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ පරිත්‍යාගශීලීන්ගෙන් සහ ආපසු ලබා දීමේ පොරොන්දුව මත වෙනත් රෝහල්වලින් ණයට ඉල්ලා ගැනීමෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීම් හරහා, අදාල ඖෂධය සපයා දී ඇති බැවින්, සැලසුම් කර තිබෙන ආකාරයට, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ඉදිරියට පවත්වාගෙන යා හැකි බව පුවත්පතට තොරතුරු ලබා දී තිබෙන විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට භාජනය වන එක් රෝගියෙකුට එකී ප්‍රතිජීවක ඖෂධයෙන් කුප්පි හතරත් අටත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව අදාල වෛද්‍යවරයා පවසයි. නමුත් රෝහල තුළ ඇත්තේ, අදාල ප්‍රතිජීවක ඖෂධයෙන් කුප්පි 25-30 ත් අතර ප්‍රමාණයකි. එම සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ තවත් සති දෙක තුනකට පමණක් බව පුවත්පතට තොරතුරු ලබා දී ඇති – නිර්නාමිකව පෙනී සිටින – විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබේ.

ඖෂධ හිගයට අමතරව ශල්‍ය උපකරණවල හිගය සම්බන්ධයෙන් ද එකී වෛද්‍යවරයා පුවත්පතට තොරතුරු ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =