වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි තවදුරටත් රදවා ගන්නවාට මානව හිමිකම් කොමිසම විරුද්ධයි.

0
326

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි
තවදුරටත් රදවා ගන්නවාට
මානව හිමිකම් කොමිසම විරුද්ධයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තව දුරටත් රදවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම අයුක්ති සහගත බවත් එය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකි බවත් එම කොමිසම පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක යන අය රැදවුම්භාරයේ පසුවන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ තත්ත්වය පරීක්ෂා කර බැලීම සදහා පසුගිය විසිපස්වනදා ගොස් ඇති බවයි.

සිරිධම්ම හිමි දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් උන්වහන්සේ වහා රෝහල්ගතකළ යුතුව ඇති බවත් ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.

රැදවුම් භාරයේ පසුවන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මානව හිමිකම් කොමිසසේ අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකට පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම්භාරයේ තබා ගත්තද ඔවුන්ගෙන් අවස්ථා කිහිපයක දී හැර ප්‍රශ්න කිරීමක් පවා සිදු නොකරන බවයි.

සැකකරුවන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමේ හැකියාව තිබෙන බැවින් ඔවුන්ට එරෙහිව පනවා තිබෙන රැදවුම් නියෝග දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය විරෝධය පළ කරන බව එම කොමිසම නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × one =