‘විදුලිබිල වැඩි කලොත්
නඩු දානවා..!’
ඇමති කාන්චනට
ජනක රත්නායකගෙන් අභියෝගයක්.
මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය නොමැතිව විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය තීරණය කරන්නේ නම් එම තීරණයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම නීතිමය පියවර ගන්නා බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමටනම් ලබන වසරේ මුල සිට විදුලි බිල 70%කින් පමණ ඉහළ දැමිය යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා දැඩිව අවධාරණය කරයි.
අවසන් වරට මහජන උපයෝගීතා කොමිසම විදුලිබිල ඉහළ දැමීමට අවසර ලබා දීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලය ලාභ උපයා ඇති බව පවසන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, විදුලිබිල ඉහළ දැමීම සදහා එම අවස්ථාවේ දී කොමිසම ලබා දුන් නිර්දේශය නිවැරදි බව ඉන් පෙනී යන්නේ යැයි ද පවසයි.
අමාත්‍යවරයා විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන්නේ විදුලි බිල ඉහළ දැමීම සදහා අත්‍යවශ්‍ය සාධක කිසිවක් වෙනස් වී නැති පසුබිමක බවද ජනක රත්නායක මහතා පවසයි.
ඉන්ධන මිල හෝ ගල් අගුරු මිල ඉහළ යෑම හෝ රුපියල අවප්‍රමාණය වීම සිදුව නැති බව ඔහු ගේ අදහසයි.