‘විධායකයට අධිකරණයේ ස්වාධීනත්වය සමඟ
සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකියි…!’
සාලිය පීරිස්.
විධායකයෙන් එල්ලවන බලපෑම්වලින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සදහා වු සටනක ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිරතව සිටින බව එහි සභාපති සාලිය පීරිස් මහතා පවසයි.
වැලිගම පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඊයේ ඔහු මේ බව පවසා සිටියේ ය.
විධායකය, අධිකරණ තීන්දුවලට කීකරුවීමට මැලිකමක් දක්වන බවත් අධිකරණ තීන්දු ක්‍රමානුකූලව නොතකා හරින තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පවසයි.
එමෙන්ම විනිසුරුවරු ආතතියට පත් කිරීම සදහා විධායකයට ඉඩ නොදිය යුතු බව නීතීඥ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.
පලාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නියෝග ක්‍රියාත්මක කිරීම විධායක විසින් මග හරිමින් සිටින තත්ත්වයක් තුළ නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ අදහස් දැක්වීම සිදු කර තිබේ.
එමෙන්ම අදාල අධිකරණ තීන්දුව හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වූ බව පවසමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පාර්ලිමේන්තු කමිටුවකට කැදවා ඔවුන්ගේ ප්‍රශ්න කිරීමේ සූදානමක් ද පවතී.
මේ තත්ත්වය මත විධායකය, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සිටින බවත් ඊට ඉඩ දිය නොහැකි බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පවසයි.