‘විරෝධතා මැඩලන
නවනීති අහෝසි කරනු..!’
හියුමන් රයිට්වොච් කියයි.
මහජන විරෝධය මර්දනය කිරීම සදහා රජය පනවා ඇති නව නීති රෙගුලාසි වහා හකුලා ගන්නා ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
විරෝධතාකරුවන් එක් රැස් වේයැයි රජය අනුමාන කරන කොළඹ නගරයේ පිහිටි ස්ථාන රැසක් ආවරණය කරමින් රජය පසුගියදා එම ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ගැසට් කළේ ය.
ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව පසුගිය විසිතුන්වන දා අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණු අතර ඊට පහුවදා සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබුණු විරෝධතාවය විසුරුවා හැරීම සදහා රජය කදුළු ගෑස් බැටන් සහ ජලප්‍රහාර යොදා ගත්තේ ය.
විරෝධතාවය මෙහෙය වූ සමාජවාදී තරුණ සංගමයේ ඉල්ලීම් අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමද ඇතුළත් ය.
මෑතකදී පනවන ලද මෙම දැඩි නීති මගින් පෙන්නුම් වන්නේ ජනතා විරෝධය මැඩපැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව යැයි හියුමන් රයිට් වොච් සංවිධානය චෝදනා කරයි.
ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ ඒමට පොරබදමින් සිටියි. එවැනි අවස්ථාවක රජය කළ යුත්තේ ජනතා හඩට කන්දීම මිස හඩ නගන මිනිසුන් කූඩු කිරීම නොවන බව ද හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
ලාංකීය පුරවැසියන් සාමකාමී ක්‍රමවේද හරහා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියේ ය. එමෙන්ම රට බංකොළොත් වීමට අදාලව රජයේ වගවීම පෙන්නුම් කරන ලෙස ද ජනතාව සාමකාමීව ඉල්ලා සිටියේ ය. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින අත්අඩංගුවට ගැනීම් සහ රදවාතබාගැනීමේ හේතුවෙන් එකී සාමකාමී විරොධතා ප්‍රචණ්ඩත්වය කරා ඇදී යා හැකි බවටද හියුමන් රයිට් වොච් අනතුරු හගවයි.
ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කිරීම සදහා කළ යුතු සෑම දෙයක්ම කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අයත් රටවල් කටයුතු කළ යුතු බවටද හියුමන් රයිට් වොච් සංවිධානය ඉල්ලා සිටියි.