“විශ්වාසභංගයෙන්නම් දිනුම්.විගණනයෙනුත් දිනයි ද..?” රුපියල් බිලියන 30 ක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් විගණන නිළධාරීන් 30 ක් පරීක්ෂණ අරඹයි..!

0
167

“විශ්වාසභංගයෙන්නම් දිනුම්.
විගණනයෙනුත් දිනයි ද..?”
රුපියල් බිලියන 30 ක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන්
විගණන නිළධාරීන් 30 ක් පරීක්ෂණ අරඹයි..!

පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කර තිබෙන රුපියල් බිලියන තිහකට ආසන්න වටිනාකමකින් යුතු ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන් චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සදහා තිස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් යොදවා ඇති බව විගණන දෙපාර්තමේන්තුව පවසයි.

අද වෙළද පොළට නිකුත්ව තිබෙන සන්ඩේ මෝර්නිං පුවත්පත සිය මුල්පුවතෙන් මේ බව වාර්තා කරයි.

මෙම විශේෂ විගණනය මාස දෙකක් තුළ සිදුකර අවසන් කිරීමට විගණන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

පුවත්පත මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා ඇති අතර, ඔහුද එය තහවුරු කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විගණනයක් සිදු කරන ලෙස තමන්ද විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ඖෂධ මිලදී ගැනීමේ දී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබදව වැදගත් කරුණු රැසක් හෙළි කර සිටියේ ය.

ඔහු එල්ල කර එක් චෝදනාවක් වූවේ, චීන සමාගමකින් ඩොලර් ශත පනහකට මිලදී ගැනීමට හැකියාව තිබුණු erythropoietin alpha නම් එන්නත, වෙනත් සමාගමකින් ඩොලර් 34.78 කට මිලදී ගෙන ඇති බවයි. අදාල එන්නතින් මාත්‍රා නම දහසක් මිලදී ගෙන තිබේ.

වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අමතරව, බාල ඖෂධ මිල දී ගැනීම පිළිබදවද සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා එල්ල වී තිබේ.

පුබුදු ජයගොඩ මහතා තවදුරටත් චෝදනා කර සිටින්නේ, රුපියල් බිලියන 48ක ආදායමක් උපයා ගැනීමට රජය වෘත්තිකයන්ට බදු ගැසීම හේතුවෙන් වෛද්‍යවරු රට හැර යන තත්ත්වයක් නිර්මාණය වී තිබිය දී, එක් සැපයුම්කරුවෙකු වෙත වාසි සලසා දීම සදහා රජය රුපියල් බිලියන 30 ක් අවභාවිතා කර ඇති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සියළු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 13 =