සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ සකසයි.
සැකකරු එළියට ගෙනයනවානම් ඒ රැගෙන යාම වීඩියෝ කළ යුතුයි..!
පොලිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් සැක සහිත ලෙස මිය යාමේ සිදුවීම් වාර්තා වන බැවින් එවැනි සිදුවීම් වැලැක්වීම සදහා ගත යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් මේ වන විට මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති අතර එම මාර්ගෝපදේශමාලාව සියළු පොලිස් නිළධාරීන් වෙත ලබා දී තිබේ.
ඒ අනුව, කිසියම් සැකකරුවෙකු, විමර්ෂණ සදහා යයි කියමින් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම්, අදාල සැකකරු පිටතට රැගෙන යන දර්ශන වීඩියෝගත කිරීම සදහා පොලිස් නිළධාරියෙකු අනුයුක්ත කළ යුතුයි.
අවශ්‍යතාවය අනුව එම වීඩියෝ දර්ශන සැකකරුට එරෙහිව සාක්ෂි ලෙසද භාවිතා කළ හැකියි.
එමෙන්ම කිසියම් සැකකරුවෙකු පොලිසියට ලබා දෙන පාපොච්ඡාරණයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස යොදා ගැනීමට ඇති ඉඩ අවකාශ අවම බව පොලිස්පතිවරයා සියළු පොලිස් නිළධාරීන් වෙත නියෝග කර තිබේ.
සැකකරු කිසියම් අපරාධයක් සිදුකර ඇති බව පෙනී යන්නේ නම් ඊට අදාල සාක්ෂි එක්රැස් කර ගැනීම පොලිස් නිළධාරීන්ගේ වගකීමක් බව පොලිස්පතිවරයා පවසයි.
අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් හැකිතාක් වළකින ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. සැකකරුවෙකු පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේනම් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පොලිස් නිළධාරීන් පිරිසක් යෙදවිය යුතුය.
ඕනෑම සැකකරුවෙකුට ඔහුගේ පවුලේ ඥාතීන් හෝ නීතීඥයෙකු හමුවීම සදහා ඉඩ ලබා දෙන ලෙසත්, සැකකරුවන්ට හිමිවන අයිතීන් මොනවාද යන්න සියල්ලන්ට හොදින් පෙනෙන සේ සිරමැදිරි ආසන්නයේ ප්‍රදර්ශනය කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් නිළධාරීන්ට නියෝග කර තිබේ.
පාතාලයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිටීනම්, ඔහු හෝ ඇය සම්බන්ධයෙන් සෑම පැය භාගයකටම වරක් ලොග් සටහනක් තබා තිබිය යුතුය.
එවැනි සැකකරුවෙකු පොලිසියෙන් පිටතට රැගෙන යන්නේ නම් අදාල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා වෙත දැනුම් දිය යුතුය.
සැකකරුවන් පොලිස් නිළධාරීන් සතු ආයුධ පැහැර ගැනීමට දරන උත්සාහයන් වැළැක්වීමටද පොලිසිය කටයුතු කළ යුතු බවට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.