සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම
යළි බලාත්මක කිරීමට ජනපති රනිල් කටයුතු කරයි.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා තිබෙන නිදහස් වෙළද ගිවිසුම බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ.
අද ජපානයේ ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැඩි සතුට ප්‍රකාශ කර ඇති අතර ලංකාවේ ආයෝජනය කිරීමට සිංගප්පූරුව සූදානම් බවද පවසා ඇතැයි වාර්තා වේ.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම පිළිබද යෝජනාව මුල් වරට ඉදිරිපත් වූයේ යහපාලනය සමයේ දී ය.
එවකට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වූ බන්දුල ගුණවර්ධන මහතා මෙම ගිවිසුමට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළේ ය.
මෙම ගිවිසුම පිටුපස සිංගප්පූරුවේ සැගවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සිටින බවද 2018 වසරේ මැයි මාසයේ දී ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණි.
බන්දුල ගුණවර්ධනට අමතරව වෛද්‍ය අනුරුද්ධ පාදෙනියද මෙම ගිවිසුමට එරෙහිව ප්‍රබලව හඩ නැගී ය.