සීනි බදු වංචාව;
අල්ලස් කොමිසම
ගෝඨාභයගෙන්
ප්‍රශ්න කිරීමට සූදානම්..!
සීනි බදු වංචාව සම්බන්ධයෙන් නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව අද නිකුත් වී තිබෙන ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කර සිටියි.
ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම එවකට වෙළද අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට කැදවා තිබුනද ඔහු ඒ සදහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසම, පසුගිය සදුදා දිනයේ දී කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබුණි.
නමුත් තමන්ට එම දැනුම් දීම ලැබුනේ ඒ දිනයට ඉතා ආසන්න දිනයකදී බැවින් සූදානම් වීම සදහා වෙනත් දිනයක් අවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.
සීනි බදු වංචාවෙන් රුපියල් බිලියන 16 ක මුදලක් මහාභාණ්ඩාගාරයට අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගියද පාර්ලිමේතුව හමුවේ පවසා සිටියේ ය.
එමෙන්ම සීනි කිලෝවක් මත පනවා තිබුණු රුපියල් පනහක බද්ද සත විසි පහ දක්වා අඩු කිරීමට ගත් තීරණය එවකට වෙලද අමාත්‍යවරයා වශයෙන් සිටියද තමන් නොදැන සිටි බව බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණු. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ සීනි බද්ද සති විසි පහ දක්වා පහත හෙලීමට රජය තීරණය කර ඇති බව තමන් දැන ගත්තේ අභයාරාමයේ සිටියදී බවයි.
ඉන් නොනැවතී, එම තීරණය ගැනීම සදහා රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කළ බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
සීනි බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බව මුදල් අමාත්‍යංශ නිළධාරීන් අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ පිළිබදව ප්‍රකාශයක් ගැනීමට නියමිත ය.