21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පවසා ඇතැයි, අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මේ අතර, මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමට ප්‍රමුඛතාවය නොදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන දැඩි උනන්දුව පිළිබදව පොහොට්ටු පක්ෂ ප්‍රබලයෝ ජනාධිපතිවරයා හමුවේ සිය විරෝධය පළ කර තිබෙන බවද පුවත්පත පවසයි.
සති අන්තයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී, මේ දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටට අත්කර දී තිබෙන ජයග්‍රහණ මොනවාදැයි පොහොට්ටු පක්ෂ ප්‍රබලයන් ජනාධිපතිගෙන් ප්‍රශ්න කර තිබෙන බවද පැවසේ.
එමෙන්ම, මුදල් අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ද පොහොට්ටු ප්‍රබලයෝ සිය විරෝධය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.
අළුත් අයෙකු මුදල් අමාත්‍යධූරය සදහා පත්කරන තුරු එම ධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගත යුතුව තිබුණු බව ඔවුන්ගේ යෝජනාවයි.
මේ අතර, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති විරසකයද මේ වන විට තව දුරටත් ඉස්මතුව තිබෙන බවද පුවත්පත පවසයි.
සති අන්තයේ දී ජනාධිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, වත්මන් ආර්ථික අර්බුදය විසදීම සදහා මහබැංකු අධිපතිවරයා මේ දක්වා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් තමන් සතුටුවන බවත්, මහබැංකු අධිපතිවරයාට තමන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මහබැංකු අධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සදහා බව ද වාර්තා වේ.
වැටී තිබෙන ආර්ථිකය යළි ගොඩ ගැනීම සදහා තමන් විසින් ගනු ලබන ඕනෑම පියවරක් සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නොකළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිගෙන් මේ වන විටත් පොරොන්දුවක් ගෙන ඇති බව පැවසෙන අතර, යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වන්නේනම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවද අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිට දැනුම් දී ඇති බවද වාර්තා වේ.